කල්තබා ගන්නා ආහාර වලට යොදන ද්‍රව්‍ය ගැන අමිහිරි සත්‍ය මෙන්න

කල්තබා ගැනීමට හැකි වන ලෙස හෝ භාවිතයට පහසු වන ආකාරයට සකස් කරන ලද ආහාර පිරි සැකසුම් කළ ආහාර වේ. මෙම ආහාර බොහොමයක අන්තර්ගත සීනි, ලුණු මේදය (සංතෘප්ත මේදය හා ට්‍රාන්ස් මේදය) ඉහළ යන අතර කැලරි අගයක් ගනී. ඊට අමතරව මෙම ආහාර කල්තබා ගැනීමට, රසගැන්වීමට හා විවිධ වර්ණවලින් පිළියෙල කිරීමට විවිධ රසායනික ද්‍රව්‍ය භාවිත කරයි. මෙම රසායනික ද්‍රව්‍යවල කිසිදු පෝෂණීය අගයක් නොමැති අතර ආසාත්මිකතා, ස්නායු ආබාධ, පිළිකා වැනි තත්ත්ව ඇති වීමටද මේවා හේතු විය හැකිය.

පාන්.

පාන් යනු තිරිඟු පිටි, මේදය, ලුණු හා ඊස්ට් මිශ්‍රණයකි. සම්ප්‍රදායානුකූල ක්‍රමයට පාන් නිපදවීමේදී ඉහත අමුද්‍රව්‍ය පමණක් ප්‍රමාණවත් අතර මෙම ආකාරයට සාදන ලද පාන් එක් දිනක් පමණක් කල් තබාගත හැකිය. එහෙත් කල් තබාගත හැකි ආකාරයට සාදන ලද ආහාරවල පුස් සෑදීම වැළකීම සඳහා යොදන රසායනික ද්‍රව්‍ය භාවිත කරන අතර පිපුම් කාරක ලෙසද ඊස්ට් වෙනුවට සෝඩියම් බයිකාබනේට් නමැති රසායනය භාවිත කරයි. තවද පාන් පෙත්ත මෘදු බවින් යුක්ත වීමට විවිධ රසායනික ද්‍රව්‍ය යොදාගනී. එබැන් සම්ප්‍රදායනුකූලව පිළියෙල කරගත් පාන්වල රසායනික ද්‍රව්‍ය අන්තර්ගත නොවන බැවින් සෞඛ්‍යයට කල්තබාගත හැකි ආකාරයට සාදන ලද පාන්වලට වඩා හිතකරය. පාන් ආහාරයට ගැනීමේදී එළවළු, කඩල, කව්පි, මුං, පරිප්පු වැනි පියලි වර්ග මාළු, බිත්තර සමඟ ආහාරයට ගැනීම මඟින් මෙම ආහාර ජීර්ණය වී රුධිරයට සීනි මුදාහරින වේගය පාලනය වේ.

Loading...

නූඩ්ල්ස්.

සම්ප්‍රදායනුකූල ක්‍රමයට නූඩ්ල්ස් නිෂ්පාදනයේදී ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස තිරිඟු පිටි හා ලුණු භාවිත කරයි. එහෙත් ක්‍ෂණික නූඩ්ල්ස් නිෂ්පාදනයේදී එහි රසවත්භාවය වැඩි කිරීමට රසායනික ද්‍රව්‍ය බොහෝමයක් භාවිත කරයි. තවද බොහෝ නූඩ්ල්ස් වර්ගවල රස උසස් කාරකයක් ලෙස මොනසෝලියම් ග්ලූටමේන් (අජිනමොටෝ) භාවිත කරන අතර මෙය අවුරුදු 3ට අඩු දරුවන් සඳහා සුදුසු නොවන බව ශ්‍රී ලංකාවේ ආහාර පනතේ පවා සඳහන් කර ඇත. තවද මෙම නූඩ්ල්ස් පැකට් තුළ දක්නට ලැබෙන කුඩා රසකාරක පැකැට්ටුව ස්වාභාවික ද්‍රව්‍ය අන්තර්ගතයක් නොවන අතර රසායනික ද්‍රව්‍ය වේ. මෙම ද්‍රව්‍ය අසාත්මිකතා, පිළිකා හා ස්නායු ආබාධ වැනි රෝගී තත්ත්වයන් සඳහාද හේතු වේ. සරල ක්‍රමයට සකස් කරන ලද නූඩ්ල්ස් හෝ හාල් පිටිවලින් නිපදවන ලද නූඩ්ල්ස් එළවළු සමඟ මිශ්‍ර කර ස්වාභාවික රසකාරක මඟින් රසවත් කර පිළියෙල කිරීමෙන් පෝෂණ ගුණය වැඩිදියුණු කළ හැකිය.

සකස් කරන ලද මස් වර්ග.

සකස් කරන ලද මස් වර්ග වන සොසේජස්, මීට්බෝල්ස් වැනි ආහාරවල ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස ඉවතලන සම, මේද ස්තරය, බඩවැල් කොටස් භාවිත කරන අතර මෙම ආහාරවල දුඹුරු පැහැය ලබාදීමට හා කල්තබා ගැනීම සඳහා සෝඩියම් නයිට්‍රේට් වැනි රසායනික ද්‍රව්‍ය භාවිත කරන අතර මෙම ද්‍රව්‍ය මස් සමඟ ප්‍රතික්‍රියා කර නයිට්‍රෝසැමයින් නමැති සංයෝගය සාදන අතර මෙය පිළිකාකාරකයකි. මෙය ආහාරයේ තිබිය යුතු උපරිම අංශු ගණන මස් අංශු මිලියන 1කට මෙම රසායනය අංශු 150ත් 200ත් වශයෙනි. තවද එම ආහාරවල සංතෘප්ත මේදය හා ට්‍රාන්ස් මේදය ඉහළ බැවින් නිතර භාවිතය සුදුසු නොවන අතර ශරීරයට හිතකර වූ පෝෂ්‍යදායක ප්‍රෝටීන් ප්‍රභව ලෙස බිත්තර මාළු, මස් (මේද රහිත), කුකුළු මස්, කරවල, පියලි හා ඇට වර්ග හා රනිල බෝග භාවිත කළ හැකිය.

කාබනීකෘත බීම වර්ග.

කාබනීකෘත බීම බොහොමයක ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස ජලය, සීනි හා විවිධ වර්ණක භාවිත කරන අතර කාබන් ඩයොක්සයිඩ් වායුවද භාවිත කරයි. තවද මෙවැනි බීම රසවත් කිරීමට සීනි වෙනුවට සැකරින් ඇස්පාට්මින් වැනි රසාකාරක භාවිත කරන අතර එමඟින් ස්නායු ආබාධ හා පිළිකා හා තරබාරුව ඇති කරයි. තවද මෙවැනි බීම වර්ගවල අධික ලෙස සීනි අන්තර්ගත වේ. ලෙමනේඩ් වීදුරු එකක සීනි හැඳි 3ක් අන්තර්ගත වන අතර විවිධ රසායනික ද්‍රව්‍ය සුවඳ කාරක ලෙස භාවිත කරයි. මෙම ද්‍රව්‍ය මඟින් අසාත්මිකතා, ඇදුම හා පිළිකා වැනි දේ ඇති වේ.

ටින් කරන ලද ආහාර.

ටින් කරන ලද පලතුරු, සීනි හෝ ලුණු ද්‍රාවණවල ටින් කර ඇති අතර ටින් කිරීමේ ක්‍රියාවලියේදී ඉහළ උෂ්ණත්වවලට රත් කරනු ලබයි. පලතුරුවල අඩංගු විටමින් සී මෙහිදී විනාශ වේ. එබැවින් නැවුම් පලතුරු ආහාරයට ගැනීම ඉතා යෝග්‍ය වේ. තවද ටින් කරන ලද ව්‍යංජන වර්ග කල් තබාගැනීම සඳහා රසායනික ද්‍රව්‍ය යොදන අතර සෞඛ්‍යයට හිතකර අයුරින් නිවෙසේදී පිළියෙල කරගත හැකිය. ටින් කරන ලද මාළු වර්ග බොහොමයක් ලුණු ද්‍රාවණ අන්තර්ගත වන බැවින් ලුණු ඉවත් කර ආහාරයට ගැනීම සුදුසුය. බොහොමයක් ටින් කරන ලද ආහාර නිර්වායු තත්ත්වය යටතේ අහුරා ඇති අතර මෙම තත්ත්ව යටතේ වර්ධනය විය හැකි බැක්ටීරියා වර්ග විස නිපදවන නිසා මෙම ආහාර මිලදී ගැනීමට පෙර කල් ඉකුත් වීමේ දිනය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. තවද මල බැඳුණු හා පිම්බීමකට ලක් වූ ටින්වල අහිතකර බැක්ටීරියා අඩංගු විය හැකි බැවින් මිලදී නොගත යුතුය.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!