වකුගඩු ගල් දිය කරන ධාන්‍ය වර්ග අතරින් උසස්ම ගුණ ඇති මුං ඇට

මුං ඇට කියන්නේ අපිට ඉතාම හුරුපුරුදු, සමීපතම ධාන්‍ය වර්ගයක්. එදිනෙදා ආහාර වේල රසවත් කරන වෑංජනයකටත් මුං ඇට ඉතාම සුදුසුයි. මුං ඇට තම්බලා ලුණු මිරිස්, පොල් එක්ක කන්න පුංචි දරුවොත් හරිම ආසයි.

ඒ වගේම මුං කිරිබත් කියන්නේ අපේ ගැමි ආහාර රටාවෙත් රසවත් ආහාරයක්. මුංඇට කැවුම් කියන්නෙත් අවුරුදු කෑම මේසයට නැතිවම බැරි දෙයක්. අපේ ආහාර ක්‍රමවේදයට අනුව රසවත් ගුණවත් ආහාරයක් වන මුං ඇට ඇත්තටම අපේ දේශීය වේදකමේදී අගනා ඔෟෂධයක්.

ආයුර්වේදයේදී ඔෟෂධ පිණිස ධාන්‍ය වර්ග භාවිත කරනවා. ඒ ඔෟෂධීය ධාන්‍ය වර්ග අතර මුංඇටවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. සංස්කෘත භාෂාවෙන් මුං ඇට “මුද්ග” යන නමින් හඳුන්වනවා. ඉවීමෙන් ප්‍රමුඛ යන අරුතෙන් “සූපශේෂ්ඨ” යන අරුතිනුත්, හොඳ පල යන අදහසින් “සූපල” යන අරුතිනුත්, රස අතර ප්‍රධාන හෙවත් “රසෝත්තම” යන අරුතිනුත් මුං ඇට හඳුන්වනවා.

Loading...

වෙනත් ධාන්‍ය වර්ගවලට වඩා ඇඟට හොඳින් ගුණය උරා ගන්නා ධාන්‍ය වර්ගයක් නිසා මුං ඇට පථ්‍ය ධාන්‍ය ලෙසත් හඳුන්වනවා. ආයුර්වේදයේ මූලික ග්‍රන්ථවල සඳහන් ආකාරයට උඳු, කොල්ලු, මයිසූර් පරිප්පු වැනි ධාන්‍ය වර්ගවලට වඩා මුං ඇට ගුණ දායක වෙනවා.

මුං ඇට තම්බා හෝ වෑංජනයක් ලෙස වගේම මුං ඇට කොටා ගන්නා පිටිවලින් විවිධ කැවිලි වර්ග හදන්නත් පුළුවන්. ශරීරයට හිතකර ඒ සෑම ආහාරයක්ම ඉතාම ගුණදායකයි. ඒ වගේම මුං ඇට පැළකර ඒ පැළවලින් රසවත් වෑංජනයක් පිසින්නත් ඔබට පුළුවන්.

මුං ඇට වතුර පිරවූ බඳුනකට දමා රැයක් වසා අඳුරු තැනක තැබූ පසු එහි සිහින් ලෙස පැළ හටගන්නවා. දිනක් වතුර බඳුනේ තබා ඒ වතුර ඉස මුං පැළවලින් රසවත් ගුණවත් වෑංජනයක් පිසගන්න ඔබට පුළුවන්. ඇමෙරිකාව වගේ රටවල මේ ආහාරය ඉතාම ප්‍රචලිතයි. මේ පැළකළ මුං ඇට දැන් ලංකාවේ සුපිරි වෙළෙඳසල්වලිනුත් ගන්න පුළුවන්. යකඩ, ප්‍රෝටීන, කාබෝහයිඩේ්‍රට් වැනි අධික පෝෂ්‍ය පදාර්ථ මේ ධාන්‍ය වර්ගයේ අන්තර්ගතයි.

අධික ප්‍රෝටීන ගුණය නිසාම ශරීරය කෙට්ටු අයට මහත් වෙන්න දිනපතා මුං ඇට ධාන්‍ය වර්ගයක් ලෙස ආහාරයට ගන්නත් පුළුවන්. ඇතැම් පුද්ගලයන් නිර්මාංසව ආහාර අනුභව කරන නිසා ශරීරයට ප්‍රෝටීන් ලැබෙන්නේ ඉතාම අඩුවෙන්. නිර්මාංස අයට ශරීරයට ප්‍රෝටීන් ලබාදෙන්න ඉතාම සුදුසු ආහාරයක් තමයි මුං ඇට.

ඉන්දියාවේ උදෑසන කිරි වීදුරුව වෙනුවට මුං ඇට තැම්බූ වතුර (ලුණු ස්වල්පයක් දමා) පානය කරනවා. එය ශරීරයේ රෝග රැසක් සුව කරන්න නිරෝගී සුවය අත්කරන්න සුදුසු ඉතාම ගුණවත් ඔෟෂධීය පානයක්.

පැළ මුං ඇට යොදාගෙන ලොකු පොඩි කාටත් ගුණය ලබාදෙන රසවත් ආහාරයක් සාදන හැටි මම කියන්නම්. පැළ මුං ඇට කෝප්ප දෙකක් ගෙන එයට රටකජු කෝප්ප භාගයක් මිශ්‍ර කර ළිපේ තෙල් ස්වල්පයක් රත්කර ගන්න. තෙල් රත්වූ පසු පැළ මුං සහ රට කජු මිශ්‍රණය එයට මිශ්‍රකර අවශ්‍ය පදමට ලුණු, මිරිස්කුඩු සහ දෙහි මිශ්‍ර කර හොඳින් කවලම් කර ගන්න.

ඇති පදමට තැම්බුණාට පසුව මෙය ආහාරයක් ලෙස ගන්න. බාල – වැඩිහිටි ඕනෑම අයකුට ශරීර ශක්තිය වර්ධනයටත්, කෘශ ශරීර මහත් කරන්නටත්, මෙය ඉතාම සුදුසු ආහාරයක්. විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වීම නිසා එක්තැන්වී ක්‍රම ක්‍රමයෙන් සුවය ලබන රෝගීන්ගේ ශරීරය රෝග ලක්‍ෂණ නිසා අප්‍රාණිකව වී කෘශ වී තිබීම සාමාන්‍ය දෙයක්.

එවන් රෝගීන්ට සිරුර ප්‍රාණවත් කර නැවතත් ශරීරය ප්‍රකෘතිමත් කිරීමටත්, ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රමවත් කිරීමටත් මුං ඇටවලින් සෑදූ සුප් එකක් දිනපතා දින කිහිපයක් පානය කිරීමට දීම ඉතාම යෝග්‍යයි. මුං ඇටවලින් සාදන මේ ඔෟෂධීය කැඳට ආයුර්වේදයේ “මුද්ග යුෂ” කියල හඳුන්වනවා.

මුං ඇට තම්බා සාදා ගන්නා මේ සුප් එක බාල, මහලු සැමට ශරීර ප්‍රාණය වැඩිවීමටත් කිරි දෙන මවුවරුන්ගේ කිරි වර්ධනය කිරීමටත් පානය කළ හැකි ඉතාම ගුණදායක සුප් එකක්. ඒ වගේම මල බද්ධය රෝගයෙන් පෙළෙන රෝගීන්ටත් එයින් මිදීමට මේ සුප් එක දින කිහිපයක් උදේ සවස පානය කිරීම ගුණදායකයි.

මුං ඇට කියන්නේ තරමක කෙඳි සහිත ආහාරයක්. ඇතැම් අයට කෑම දිරවීමේ අපහසුතාවක් පැමිණියහොත් මුං ඇට තැම්බූ දියර ඔහුට පානය කරන්න දෙන්න. කෑම දිරවීම ප්‍රකෘතිමත් කරනවා වගේම ශරීරයේ රුධිර ගමනාගමනයත් එයින් ක්‍රමවත් කරනවා.ඒ විතරක් නෙවෙයි සමහරුන්ගේ මුහුණේ, අතපය වල විවිධ කැපීම් නිසා නොමැකෙන කැළැල් පවතිනවා. ඇතැම් අවස්ථාවලදී එය තරමක මානසික වදයක් වන අවස්ථාත් තිබෙනවා. එවන් ලප කැළැල් මකා දමන්නත් මුං ඇට ඉතාම ගුණදායක ඔෟෂධයක්.

ඔබ කළ යුත්තේ මුං ඇට ඇල්දියෙන් අඹරා, කැළැල මතුපිට පැලැස්තරයක් ලෙස ආලේප කිරීම පමණයි. දින කිහිපයක් අඛණ්ඩව මෙය කළොත් ක්‍රමක්‍රමයෙන් ලප කැළැල මැකී යන අයුරු ඔබට දැක ගන්න පුළුවන්.

ඒ වගේම ඇල්දියෙන් ඇඹරූ මුං ඇට ද්‍රාවණය කිරි මවුවරුන්ගේ පියයුරුවල ආලේප කිරීමෙන් විටින් විට කිරි වැගිරීම වළක්වන්න පුළුවන්.ඒ වගේම සරම්ප, අතීසාර, පැපොල වැනි රෝගවලින් පෙළෙන අයට මුං ඇට පෙඟවූ වතුර විටින් විට පානයට දීමෙන් ඒ සියලුම රෝගයන්ගෙන් කෙමෙන් කෙමෙන් සුවයක් ලබන්න පුළුවන්.

මුං ඇට කියන්නේ මුත්‍රා හොඳින් පිට කිරීමට උදව්වන හොඳ මුත්‍රකාරක ඔෟෂධයක්. මුත්‍රාශය, වකුගඩු ආශ්‍රිතව ගල් හටගත් පුද්ගලයන්ගේ ගල් දියකිරීමට මුං ඇටවලින් සාදාගන්න ඔෟෂධීය පානයක් මම කියන්නම්. මුං ඇට සහ තිරිඟු ඇට සමව ගෙන හොඳින් තළා කුඩුකර වතුර වීදුරුවකට දමා දියකර පැය කිහිපයක් වසා තබා රෝගියාට උදේ සවස දෙවරක් එය පානයට දෙන්න. මෙය දින කිහිපයක් අඛණ්ඩ කළොත් මුත්‍රා ගල්, වකුගඩු ආශි්‍රතව හටගත් ගල් දිය කිරීමට මේ ඔෟෂධීය පානය සමත්.

ඒ වගේම වකුගඩු ආශ්‍රිතව ගල් හටගත් අයටත්, මුත්‍රා පිටවීමේ අක්‍රමිකතා ඇති අයටත් ගුණය දෙන තවත් ඔෟෂධයක් නිවෙසේ සිටම සාදාගන්න අපට පුළුවන්. මුං ඇට හොඳින් තම්බා තලපයක් වගේ සාදාගෙන එයට දෙළුම් ඉස්ම සහ ලුණු ස්වල්පයක් මිශ්‍රකර පානය කරන්න. දින කිහිපයක් ලෙස කළොත් වකුගඩු ආශ්‍රිත ගල් දිය කිරීමටත් මුත්‍රා පිටවීම ක්‍රමවත් කිරීමටත් මේ ඔෟෂධීය පානය ගුණදායකයි.

දේශීය චිකිත්සාවේදී උන්මාදය, විෂාදය ආදී විවිධ මානසික රෝග සුවපත් කරන්නත් මුං ඇට ඔෟෂධයක් ලෙස භාවිත කරනවා. මුං ඇට පිටි සහ තිරිඟු පිටි ස්වල්පය බැගින් සමව ගෙන එයට ගිතෙල් ස්වල්පයක් හොඳින් මිශ්‍රකර දෛනිකව රෝගියාට පානයට දුන්නොත් ඕනෑම මානසික රෝගයක් කලක් යද්දී සුවකරගන්න පුළුවන්. ඒ තරමටම ඔෟෂධීය ගුණයක් මේ ශාකයේ පවතිනවා.

මෙහිදී ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණක් තිබෙනවා. අධික ලෙස සෙම ඇති අයෙක් යම් කිසි රෝගයක් සුව කිරීමට මුං ඇට ගන්නව නම් මඳක් කබලෙ බැද මුං ඇටවල සිසිල් ගුණය අවම කරල ගන්න. එවිට සෙම රෝගයෙන් පෙළෙන අයට ඒ රෝගය සුවපත් කිරීමටත් මේ ඔෟෂධීය ගුණය බලපාවී.

මුං ඇට රූපලාවණ්‍ය කටයුතු සඳහාත් යොදා ගන්නවා. මුං ඇට අමු පිටි ස්වල්පයකට මී කිරි, මී පැණි සහ කහ ස්වල්පයක් මිශ්‍රකර හොඳින් කවලම් කර මුහුණේ ආලේප කළොත් මුහුණේ විෂබීජ නාශනය කිරීමටත්, ලප කැළැල් ඉවත් කර හම පැහැපත් කිරීමටත් එය ගුණදායකයි.

මුං ඇට තුළ පවතින විශේෂ වූ පෝෂ්‍ය පදාර්ථ ගුණයන් නිසා සමේ පැහැපත් බවක් ලබන්න මේ ක්‍රමවේදය ඉතාමත් සුදුසුයි. මෙමඟින් මුහුණට කිසිම අහිතකර ලක්‍ෂණයක් ඇති වන්නේ නැහැ. මොකද මේ සඳහා භාවිත කරන ඔෟෂධ සියල්ලම ස්වාභාවික ඒවා නිසා.

බොහෝ ඔෟෂධීය ආහාර වර්ග වුණත් දියවැඩියාව රෝගයට එතරම් සුදුසු නැති ඒව තිබෙනවා. නමුත් මුං ඇට දියවැඩියාව රෝගය සුව කරන්නත් ඉතාම ගුණදායකයි. සීනි පාලනයට වගේම විවිධ පිළිකා රෝග සමනය කරන්නත් මුං ඇටවලට පුළුවන්.

පියයුරු පිළිකා, සම ආශ්‍රිත පිළිකා සුවයටත් මුං ඇට ධාන්‍යයක් ලෙස හෝ මුං කිරිබතක් ලෙස ආහාරයට ගැනීම වැදගත්. මුං ඇට කියන්නේ ප්‍රතිඔක්සිකාරක ද්‍රව්‍යයක්. ඒ නිසාම සම ආශ්‍රිතව හට ගන්නා පිළිකා සුව කරන්න මෙය දිව්‍යමය ඔෟෂධයක්.

ඇතැම් ධාන්‍ය වර්ග තිබෙනවා අධික ලෙස ආහාරයට ගත්තොත් ශරීරය අසාමාන්‍ය ලෙස තරබාරු කරන. නමුත් මුං ඇට කොතෙක් ආහාරයට ගත්තත් අහිතකර ලෙස සිරුර තරබාරු වීමක් සිදු වන්නේ නැහැ. මොකද මුං ඇටවල තෙල් සහිත බව මේදය ඉතා අඩුයි.

ඛනිජ ලවන, ප්‍රෝටීන් ඉතා අධිකයි. එබැවින් තරබාරුකමට වඩා, ශරීරය පෝෂණය කිරීමේ ගුණයක් සහ පිරිපුන් කිරීමේ ගුණයක් මුංවල පවතිනවා. ශරීරයේ හොඳ රුධිර පීඩනයක් ඇති කිරීමටත්, අනවශ්‍ය මේද කොටස් ඉවත් කිරීමටත්, කොලෙස්ටරෝල් නැති කිරීමටත් මුං ඇට ආහාරයක් ලෙස ගැනීම වැදගත්.

ඉතින් මෙවැනි රෝග වලින් පිඩා විදින හැමෝටම මුං ඇට වලින් ලබාගත හැකි සෞඛ්‍ය සුවය දැනගන්න මේ වටිනා ලිපිය Share කරන්න.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!